ආබාධිත කාන්තාවන් සමඟ රණ්ඩුවට එන පිරිමි අපේ රටෙත් සිටිනවා

රත්න බී. ඒකනායක

එක් වරකදී නම්බුකාර දෙයක් පැතිරී යන්නේ සිව්දෙනෙකු අතරට පමණි. නමුත් නොවැදගත් අවනම්බු කතාවක් එක්වරකදී විසි දෙනෙකු අතරට ගලා යයි. මිනිසුන්ගේ හැසිරීම් රටාව ගැන මේ පඬි වදන කියා ඇත්තේ විලියම් ෂේක්ෂ්පියර් විසිනි. කන්න වුවමනාවූ විට කබරගොයාත් තලගොයෙකු කරගන්නා අවස්ථා තිබේ. කන්න එපාවූ විට තලගොයාත් කබරගොයෙකු සේ පලවා හරී. මෙය මිනිස් ස්වභාවයේ තවත් පැතිකඩකි.

1998 දී එවකට සමාජ සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අනුග්‍රහය ඇතිව සමස්ත ලංකා ආබාධ සහිත කාන්තා පරපුර වෙනුවෙන් තලාව කොන්ගොල්ලෑවේ ආබාධ සහිත කාන්තාව‍න්ගේ සංගමයේ (ආකාස) පිහිටුවා ඊළඟට එම ‍ස්ථානයේ ම ආබාධ සහිත කාන්තාවන්ගේ නේවාසික වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ඇති කරන ලදී. මෙම වැඩසටහනේ නියාමකවරිය වූයේ “උතුවන්කන්දේ එන්.ජී. කමලාවතී නම් වූ ආබාධ සහිත තරුණ කාන්තාව ය.

දෙපා පණ නැතිකම සුදුසුකම බවට පත් කරගත් මේ තරුණ කාන්තාව රෝද පුටුවක නැඟී ඒ මේ අත යමින් ආබාධ සහිත කාන්තාවන්ට මේ රටේ කිසියම් කාර්ය භාරයක් කළ හැකි බව පෙන්වා දුන්නා ය.

සමස්ත ලංකා ආබාධ සහිත කාන්තා සංගමයේ සභාපතිනිය ලෙස ද තලාව කෝන්ගොල්ලෑව ආබාධ සහිත කාන්තාවන්ගේ වෘත්තීය පුහුණු ආයතනයේ ප්‍රධාන පාලිකාව ලෙස ද දැනුදු කටයුතු කරන එන්.ජී. කමලාවතී ආයතනය සතු ඉඩම් හා වෙනත් සම්පත් පිළිබඳව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය ගැන සිය අදහස් පළ කළා ය.

මෙම ආයතනය පටන්ගන්න සහ ඊට පස්සේ කරගෙන යන්න තඹුත්තේගම මහවැලි කාර්යාලයේ නිර්දේශය මත ඒ වනවිට අත්හැර දමා තිබූ කෝන්ගොල්ලෑව ඉඩම සහ පාළුවට ගොස් තිබූ ගොඩනැඟිලි සංකීර්ණය ආබාධ සහිත කාන්තාවන්ගේ නේවාසික හා පුහුණු කටයුතු සඳහා පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවට මහවැලිය මගින් ‍අවස්ථා දෙකකදී විධිමත් බලපත්‍ර ඇතිව අක්කර 07 1/2 ක් සහ ඒ තුළ පිහිටි වී ගබඩා සංකීර්ණය බාර දුන්නා.

මේ ඉඩම සහ ගොඩනැඟිලි ශුද්ධ පවිත්‍ර කර අලුත්වැඩියා කරන්න සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ 12 ක් වියදම් කළා. අක්කර 07 1‍/2 ක් වූ මේ ඉඩමේ සහ ගොඩනැඟිලිවල පරම උරුමය සමාජ සේවා දෙපා‍ර්තමේන්තුවටයි. අපේ ආයතනය මෙහි පවත්වාගෙන යාමට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වරය ලැබී තිබෙනවා.”

පුරෝගාමී සේවාවක්

“මේ ආයතනය සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ඇති ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාතික ලේකම් කාර්යාලයේත් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය නොවන සංවිධාන මහ ලේකම් කාර්යාලයෙත් ලියාපදිංචි වී තිබෙනවා. මෙම ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය දිවයිනේ පමණක් නොව අන්තර්ජාතික මට්ටමින් ද පිළිගත් පුරෝගාමී සංවිධානයක්.

වරක් මේ ආයතනයට පැමිණි ජනාධිපතිතුමන් රැකවරණය අහිමි ආබාධ සහිත කාන්තාවන් වෙනුවෙන් මහින්ද චින්තනයේ සඳහන් පරිදි ආබාධ සහිත කාන්තාවන්ගේ රැකවරණය සැලසීම සඳහා රැකවරණ මධ්‍යස්ථානයක් වශයෙන් පහසුකම් ඇති ආරක්ෂිත විධිමත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා ලැබුණා. දැන් මේ ආයතනයේ සිටින ආබාධ සහිත කාන්තාවන් 15 ක් පමණ දෙනා නේවාසිකව සිටින්නේ මේ ගොඩනැඟිල්ලේයි. ඒ වගේ ම අගෝස්තු 30 වෙනිදා නව පුහුණුවීම් සහ රැකවරණය සඳහා නේවාසිකව සිටීමට පැමිණීමට නියමිත ආබාධ සහිත කාන්තාවන් පනස් දෙනාටත් මේ ගොඩනැඟිල්ලේ නේවාසික පහසුකම් සලසා තිබෙනවා.”

“ආබාධ සහිත කාන්තාවන්ගේ මවු සංගමය පවත්වා ගෙන යන්නේ මේ ස්ථානයේ. අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල, අම්පාර, මඩකළපුව, මුලතිව් හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ආබාධ සහිත කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන් ඔවුන්ට පුහුණුව හා ස්වයං රැකියා හා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා මෙම ආයතනය මඟින් කටයුතු කරනවා. 1998 සිට මේ දක්වා මේ ආයතනයේ පුහුණුව හා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්වයං රැකියා කරමින් ජීවත් වන ආබාධ සහිත කාන්තාවන් තුන් දහසකට වැඩියි.

තවමත් සංගමයේ ප්‍රතිලාභ මත ස්වයං රැකියා කරන පිරිස 1500 ක් පමණ වෙනවා. මේ අයට ස්වයං රැකියා පහසුකම් සලසා දීම සඳහා රුපියල් අසූපන් ලක්ෂයක මුදලක් චක්‍රීය ණය වශයෙන් මේ අය අතර සංසරණය වීමට අපේ සංගමයෙන් ලබාදී තිබෙනවා. මේ මුදල් අපි ආපසු ගන්නේ නෑ. නමුත් ‍තව තවත් ආබාධ සහිත කාන්තාවන් වෙනුවෙන් සේවය පුළුල් කරනවා.”

“ආබාධ සහිත කාන්තාවන්ගේ ස්වංරැකියා වශයෙන් මැහුම්, අත්කම් නිර්මාණ, ගෙවතු වගාව, සිල්ලර වෙළෙඳාම, සත්ව පාලනය, බිම්මල් වගාව, ගඩොල් කැපීම, බතික් කර්මාන්තය, පරිගණක වෘත්තීය මේවගේ කටයුතු කරගෙන යනවා. මේ හැම ස්වයං රැකියාවක් වෙනුවෙන් ම ආයතනය මඟින් මූලික පුහුණුවත් ලබා දෙනවා. මෙහි නේවාසිකව පුහුණුව ලබන කාන්තාවන් ඒ ඒ අයගේ රැකියාවන් අනුව නේවාසික පුහුණුව මාස හයේ සිට දොළහ දක්වා කාලයක් පවත්වා ගෙන යනවා. අතිදක්ෂ පරිගණක ශිල්පිනියන් මෙහි පුහුණුවෙන් බිහිවී තිබෙනවා. මේ අයගේ බහුතරය කාර්යාලවල පරිගණක ශිල්පිනියන් ලෙස හොඳ වැටුපක් යටතේ දැනට රැකියා කරනවා. කරණවෑමි සහ සන්නාලි වෘත්තියේ යෙදෙන කාන්තාවන් මේ ආයතනයෙන් බිහිවෙලා දැන් හොඳ ආදායම් ලබන්නියන් බවට පත්ව සිටිනවා.”

මූලික අයිතිය

“ආබා‍ධ නැති අයට උදව් උපකාර කරනවාට වඩා ආබාධ සහිත අය රැක බලාගනිමින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයේ පරම වගකීමක්. මේ අයත් රටේ පුරවැසියෝ. මේ අයත් ආණ්ඩු පිහිටුවන්න මනාපය පළ කරන ඡන්ද දායකයෝ. මේ අයගේ මූලික අයිතිය, පුරවැසි අයිතිය, මානව අයිතිය අහිමි කරන්න බෑ.

ඒ අය රැක බලා ගනිමින් ආරක්ෂා කිරීම රජයේ පැහැර හැරිය නොහැකි මුල් පෙළේ වගකීමක්. රජය විසින් කරගෙන යායුතු ඒ “පුරවැසි වගකීම” තමයි ‍අපි අපේ මේ ආබාධ සහිත කාන්තා සංගමය හරහා කරගෙන යන්නේ. රජය මඟින් කළයුතු වැඩක් අපි රජය වෙනුවෙන් කරගෙන යනවා. මේ සැබෑ තත්ත්වය මත රජය අපට නොයෙක් අයුරින් උදව් උපකාර කරනවා.”

අනුමැතිය

“ආබාධ සහිත වුවත් අපි ළඟ හැඩරුව ඇති නව යොවුන් වියේ තරුණියන් ඉන්නවා. ඔවුන්ට ද තරුණ වයසත් එක්ක ආශාවන් පිරී ගිය සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ආයතනය තුළ නේවාසිකව සිටිද්දී වියහැකි ආශා ජනක පෙලඹවී‍ම්වලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම අපේ පරම වගකීමක්. ගොළු තරුණියකට අහඹු විපතක් සිද්ධ වුණොත් ඇයට එය කියා ගන්න බෑ‍. එවිට එය බරපතළ මානව ප්‍රශ්නයක්. මෙවැනි අහඹු සිදුවීම්වලින් මෙම තරුණ කාන්තාවන් ආරක්ෂා කර ගැනීම ආයතනයේ යුතුකමක්.

වරක් මේ ආයතනය නිරීක්ෂණයට පැමිණි ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතාගේ පෞද්ගලික ලේකම්වරිය වූ ශාන්ති මහත්මිය මේ ආයතනයේ නේවාසිකව සිටින තරුණියන්ගේ අනාරක්ෂාව ගැන විමසීමක් කළා. විශේෂයෙන් තරුණියන්ගේ නේවාසිකාගාරය ළඟින් ම ගමේ ජනතාව නිදහසේ යන එන නිත්‍යානුකූල නොවන මාර්ගය තරුණියන්ගේ ආරක්ෂාවට තර්ජනයක්. මේ තත්ත්වය තේරුම්ගත් පෞද්ගලික ලේකම්තුමියගේ උපදෙස් පරිදි රුපියල් පන් ලක්ෂයක් තරම් වටිනා කම්බි, කම්බි කණු ආදිය ප්‍රධාන අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතුව ප්‍රධාන අමාත්‍යාංශය හරහා මේ ආයතනයට එවා “පැහැබර හෙටක්” තරුණ සංවිධානයේ සාමාජිකයින් සහ ග්‍රාමාරක්ෂක පිරිසක් ද එවා තරුණියන්ගේ නේවාසිකාගාරය ආවරණය වනසේ කම්බි වැටක් හැදුවා.

“ආබාධ සහිත කාන්තාවන්ට ගරු කිරීම මිනිසාගේ පරම යුතුකමක්. ආබාධ සහිත කාන්තාවන්ට උපකාර කරමින් ඔවුන් ආරක්ෂා කිරීම පිරිමින්ගේ වගකීමක්. මේ මානව ගුණදහම් ගැන නොදන්නා පිරිසක් පසුගිය දිනවල කම්බි වැට කඩා දාලා අපේ නිදහසට හා ආරක්ෂාවට බාධා කළා.

ආරක්ෂාව

මේ කරදරකාරී බලපෑම් ගැන තඹුත්තේගම පොලිසියට පැමිණිලි කළා. පොලිසිය පැමිණ පිරිස් විසුරුවා හැර අපට ආරක්ෂාව සලසා දුන්නා. මේ විරෝධතාවල සැඟවුණු යටි අරමුණක් තියෙනවා. මේ ආයතනය සතු ඉඩම් ටික කොල්ල කන්නයි මේ කුරුමානම් අල්ලන්නේ. දැනටමත් පවුල් කීපයක් ආයතනය සතු ඉඩම් පංගු අල්ලාගෙන පදිංචි වෙලා. මේ ඉඩම හා දේපොළ අයිති සමාජ සේවා දෙපාර්තමේන්තුවට. මේ අරියාදු ගැන දැනටමත් උතුරු මැද පළාත් සමාජ සේවා අධ්‍යක්ෂ අජන්ත ගුණවර්ධන මහතා නිසි පියවර ගෙන තිබෙනවා.

“මගේ දෙපය පණ නැති වුණාට මම නිකම්ම නිකං ගැහැනියක් නෙමෙයි. 1996 දී ආබාධ සහිත අය වෙනුවෙන් රජය මඟින් පනතක් සෑදීමේදී මම ඒ කමිටුවේ සාමාජිකාවක්. ආබාධ සහිත අය වෙනුවෙන් රජය මඟින් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කළ කමිටුවේ සාමාජිකාවක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ප්‍රඥප්තියක් සකස් කළ කමිටුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළේ මම. ආබාධ සහිත අය වෙනුවෙන් විදෙස් රටවල පැවති ක්‍රීඩා තරගවලදී ඇතැම් ඉසව්වල ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රටට කීර්තියක් අත්පත් කර දුන්නා. අන්තර්ජාතික තලයේ දී ආබාධ සහිත පුද්ගලයන්ගේ මානව හිමිකම් සුරැකීමේ ගෞරවනීය සම්මානය ලැබුණේ කෝන්ගොල්ලෑවේ පිහිටි ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයට. ඒ 2006 වර්ෂයේ එංගලන්ත පාර්ලිමේන්තුවේදී.

ඒ වගේ ම 2003 දී යුද ආසන්න ගම්මානවල පිහිටි සුබසාධන මධ්‍යස්ථානවල ආබාධ සහිත පුද්ගලයන්ගේ මානව හිමිකම් ලබාදීමේ අන්තර්ජාතික සම්මානය ලැබුණේ අපේ ආයතනයට. ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් වැඩ කර ලංකාවට කීර්තියක් ලබා දෙන්නට හැකිවීම සතුටට කරුණක්.‍

Jayani blogs at akasatalawa.wordpress.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s